Tuesday, November 8, 2016

කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතු පුරාණය

සැදැහැවත් බෞද්ධයෙකු විසින් වැඳපුදා ගත යුතු මහා පුදබිම් හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දේශනා කළ සේක. එම පුදබිම් සතර මෙසේය. සිදුහත් කුමරු උපන් ලුම්බිනිය (මෙකල නේපාල දේශයේ) සිදුහත් කුමරු බුද්ධත්වය ලැබූ බුද්ධගයාව ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය සහ සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ කුසිනාරාවය. එම පුදබිම් හතර ම පිහිටා ඇත්තේ නූතන ඉන්දියාවේ ය.















අප මෙම ලිපියෙන් විශේෂ අවධානය යොමු කරවන්නේ කපිලවස්තු ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා පිළිබඳවය. ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉන්දියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව පසුගිය 19 වැනිදා විශේෂ ඉන්දියානු ගුවන් යානාවකින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ ඉන්දියානු සංස්කෘතික ඇමැතිනි කුමාරි සෙල්ජා මහත්මිය විසිනි.
(තෙරුවන් වෙබ් අඩවියේ පලකරන ලද සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න)






Tuesday, October 18, 2016

සාදු කාරය


සාමන්‍යයෙන් බෞද්ධ දරුවකු පූජා ස්ථානයකට එක්කගෙන ගිය දෙමව්පියො පිළිම වහන්සේ පෙන්නලා “මේන්න පුතේ බුදුහාමුදුරුවෝ,  සාදු! කියන්න” කියළා කියනවා අපි ඕන තරම් අහලා ඇති. ඒ වගේම සාදු කාර තුනක් දෙනවත් අහලා ඇති. තවත් අහල ඇති සාදු කාර තුනකට පස්සේ හතරවෙනි දිගට එක ඇදලා කියන සාදු කාරයකුත්. නිකමට හරි කවුරු හරි ඇහුවොත් ඇයි උඹලා සාදු කාර දෙන්නෙ කියලා, අපි දෙන උත්තරෙ මොකද්ද ? අපි බුදුහාමදුරුවන්ට, ස්වාමින්වහන්සේට වදින්නෙ සාදු කියල තමයි කියලා කියන්න පුළුවන්ද. බෞද්ධයන් හැටියට අපි කරන වැඩක් හෝ කියන කතාවක් ඇත්නම් එහෙම කරන්නේ මෙන්න මේ හේතුවටයි කියල අපි ඒ කරණය හොදින් ඤාණවන්තව දැනගෙන තියෙන්නෙ ඕනෙ. එතකොටයි ඒක ඤාණ සම්ප්‍රයුක්තව කරන කටයුත්ත වෙන්නෙ. ඒක නිසා ඒවගෙ උත්තරයක් දීලා පැනලා යන්න බැහැ.
ඉතින් අපි බලමු මේ සාදුකාරයෙ ඇති වටිනාකම, ඇයි අපි සාදු කාර දෙන්නෙ, කුමන යාථාර්තයක්ද මේ සාදු කාරයෙ තියෙන්නෙ කියලා. ඊට කලින් බලන්න වෙනවා අපි සාදු කාර දෙන්නෙ කාටද කියලා, මොන වෙලාවකදි කියලා. කාටද කියලා බැලූවාම පෙනෙනවා බුදුපියාණන් වහන්සේගෙන් පටන් ගෙන සුපටිපන්න ආදි ගුණ ඇති සංඝයා වහන්සේට සහ උන්වහන්සේලා වෙනුවෙන් කරන පූජෝපහාර වලදි තමයි අපි සාදු කාර දෙන්නෙ. එතකොට හොඳින්ම පෙනෙනවා අපි මේ සාදුකාර දෙන්න ගුණවත් උතුමන්ට හෝ උන්වහන්සේලා උදෙසා කරන පුජෝපහාර අනුමෝදන් වීමටයි කියලා. කෙටියෙන් කියනවා නම් ගුණයක් මුල් කරගෙන කරන ඉතාමත් වටිනා කාර්‍යයකට කියලා.
ඉතින් අපි සාදු කාර තුනක් දෙන්නෙ ඇයි ? සහ දිගට ඇදලා හතරවෙනි වතාවටත් සාදු කියන්නෙ ඇයි ?
කායේන සංවරෝ සාධු
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ත සංවරෝ
පලමු සාදුකාරය කුමක් සඳහාද….”කායේන සංවරෝ සාධූ” . කයින් සංවර වීම සුහද ගුණයක්, සාධු ගුණයක්. “සාධු වාචාය සංවරෝ” වචනයෙන් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්. ඒවාගේම “මනසා සංවරෝ සාධූ” මනසින් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්.”සාධු සබ්බත්ත සංවරෝ” අන්න අර හතර වෙනියට ඇදල දුන්නු සාධුකාරය. සියලු ආකාරයෙන්ම සංවර වීම සාධු ගුණයක්. මෙන්න මේ ටික තමයි අපි ඉස්සෙල්ලාම කියන්න පටන් ගත්තේ ශාසන මාර්ගයට බහින කොටම. කුමක්ද කයින් සංවර වෙනවා කියන්නේ. මොනවද කයින් කෙරෙන දුසිරිත්. ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යචාරය කියන මේ කාරණා තුනකින් පෙන්වා දි තිබෙනවා. මෙන්න මේවායින් වැලකිලා ඉන්නව නම් කයින් සංවර භාවයට පත් වුනා. අන්න පළමු සාදුකාරය දෙන කොට මේ ගුණය මතක් වෙන්න ඕන. තමන් ලඟත් මේ ගුණය තියෙනව නම් තමා කෙරෙහිද සාදු කාරයක් දීගන්න පුළුවන් ඒවගේම බාහිරෙන් මේ ගුණය පෙනෙන්න තියෙන භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස උදේසා සාදුකාරයක් දෙන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමට , ගුණ සංකේතවත් කිරීමට ප්‍රතිමා වහන්සේ, බෝධිරාජයාණන් වහන්සේ, එබඳු වන්නා වූ ප්‍රණ ඝාතයන් නොකෙරන ප්‍රදේශයක්, සොරකමක්, කාමමිත්‍යචාරය නොකරන ප්‍රදේශයකට ගිහාම සාධු ගුණය තියෙන ප්‍රදේශයක් කියන ගුණය මතක් වුනාම සාදු කාරය හිතට එන්න ඕනෙ. මෙන්න මේක තමයි පෙර කාලයේ සාදුකාරයක් නැගෙන්න හේතුව.
දෙවෙනි සාදු කාරය අරගෙන බලමු,  ”සාධු වාචාය සංවරෝ”. වචනයෙන් සංවර වීම සාධු ගුණයක්. කොහොමද ඒ ගුණය ඇති කර ගන්නෙ, මුසාවාදයෙන් වෙන් වුනාම, පිසුනාවාචාවෙන් වෙන් වුනා නම්, පරුෂාවාචාවෙන් වෙන් වුනා නම්, සම්ප්‍රපලාපයෙන් වෙන් වුනා නම්,  අන්න වචනයෙන්  සංවරයි, වචනය සුචරිතයි,  ඒ ගුණය යම් තැනක දැක්කා නම් දෙවෙනි සාදුකාරය මතක් වෙනවා. දෙවෙනි සාධුකාරය දෙන්න සුදුසු තැනක් දකින්න ලැබෙනවා.
තුන්වෙනි සාධුකාරය මොකක්ද “මනසා සංවරෝ සාධූ”. මනසින් සංවර වීම සාධු ගුණයක්. කොහොමද මනසින් සංවර වෙන්නේ. අභිජ්ජා, ව්‍යාපාද, මිතය්‍යාදෘෂ්ඨි කියන මනසින් සිද්ධ වෙන පාප තුනක් තියෙනවා. අසංවරතාවන්, දුෂ්චරිතතාවයන් තුනක්. මෙන්න මේ කියන තුන දැන ගෙන ඇලිමෙන් , ගැටීමෙන් අයින් වෙලා ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් වෙන් වුනු කෙනෙක්ගෙ චිත්ත පාරිශුද්ධිය නැගිලා හිතේ සංවරත්වය හට ගන්නවා. අන්න මනසින් සංවරත්වය හට ගත්තහම ඒක සාධු ගුණයක්.
එහෙනම් තමා තුල හෝ අන් අයෙක් තුල හෝ, ඊට ගැලපෙන ප්‍රදේශයක් දැකලා එවැනි ගුණයක් දැක්කා නම් මෙන්න මෙතනදි තුන් වන සාධුකාරය මතුවෙනවා. කයෙන් , වචනයෙන්, මනසින් යන තුනෙන්ම සංවර තැනක් දැක්කාම “සාධු සබ්බත්ත සංවරෝ” කියල සියලු ආකාරයෙන් සංවරත්වය නිසා සාදු කියනව කියල හතරවෙනි සාදු කාරය දුන්නා. ඉතින් මේ සාදු කාර හතර දුන්නේ  ඔය කියන්නා වූ ගුණ තේරුම් අරගෙන. දස අකුසලයෙන් වෙන් වුනා වූ සුචරිතය තේරුම් අරගෙන, අන්න ඒ සුචරිතගාමී ගුණය මේකයි කියල දැක්කා නම්  මෙන්න මේ දැකීම ඔප්නංවන්න තමයි අපි මේ සාදු කාර තුනක් දුන්නේ. හතරවෙනි සාධුකාරයක් දීල සියලු ආකාරයෙන් සංවරයි කියල චිත්තප්‍රසාදයක් ඇති කරගත්තා.
එහෙනම් යථාර්තවත් ශ්‍රද්ධාවක් ඇති වෙලා, පැහැදීමක් ඇති වෙන්න නම්  ගුණ දැක පැහැදෙන්න ඕනෙ. එහෙනම්  අපි බුදුගුණ දකින්නේ, ඉස්සෙල්ලාම මෙන්න මේ දස අකුසලයෙන් වෙන් වීම සුචරිතයක් කියල තේරුම් අරගෙන. එහෙනම් සාධු කියල විතරක් මදි. සාධු ගුණයට පත් වෙන්න ඕනෙ.
එහෙනම් අපිට තේරුම් ගන්න දෙයක් තියෙනවා,  ඕන එකටයි එපා එකටයි කිසිම තේරුම්ක් නැතුව “සාදු ! සාදු !! සාදු !!!” කියන්නේ නැතුව ගුණයක් දැකලා ගුණයක පිහිටලා දෙන සාදු කාරයේ වටිනාකම.

උපුටා ගැනීම http://blog.hiddendhamma.net අඩවියෙන්



Thursday, October 13, 2016

සැමදා මහ රෑ රුවන්වැලි සෑයට අහසින් එන ආලෝකය දෙවියන් ද?

2016 මාර්තු මස 31 16:24:50 | ලංකාදීප 

 26_RASA_P3 

බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වැඩ වසන තැන අපට සැවැත්පුරේ දෙව්රම් වෙහෙර හා සමානය. ඒ උතුම් බුද්ධ වන්දනාවට සියලු දෙවියෝ අහසින් වඩින්නාහ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී මධ්‍යම රාත්‍රියේ දීප්තිමත් ආලෝකයක් විහිදුවාගෙන පැමිණි දෙවිවරුන් පිළිබඳ කතා විවිධ සූත්‍ර, දේශනා ආදිය පිරික්සා බැලීමේදී පෙනේ.

දෙවියන් මහත් සේ ප්‍රිය වූ මහා සමය සූත්‍රය එදා බුදුරජාණන් වහන්සේ දඹදිව සිට දේශනා කරද්දී මුළු අහස් කුසම දෙවියන්ගෙන් පිරී ගිය බව කියැවේ. ඒ දේව සභාව කොතෙක්ද යත් ඇතැම් දෙවියන්ට ලක්දිව රුහුණු රටේ අහස් කුස තෙක් පැමිණ මහා සමය සූත්‍රය අසන්නට සිදුවුණු බව පුරාණ අටුවා කතාවක සඳහන් වේ. දෙවියෝ ඒ තරම්ම බුදුරජාණන් වහන්සේට කැමැති වූහ. බුද්ධ දේශනාවට කැමැති වූහ.

එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ දෙවියන්ට මේ වසර දෙදහස් පන්සීය හරියට දවසක් දෙකක් මෙනි. ඒ දෙවියෝම බුදුරජාණන් වහන්සේ ජීවමානව වන්ව වැඩ හිඳින රුවන්වැලි මහ සෑ රදුන් අදත් නමදින්නාහ.

නිතිපතා මැදියම් රැයේ, අලුයම ස්වර්ණමාලී සෑ රුදුන් වෙත අහසින් එන ආලෝකයක් අනුරාධපුරේ වෙසෙන බොහෝ ජනයා දැක තිබේ. විශේෂයෙන් පූජා නගරයේ වෙසෙන අය රතු හා නිල් පාට විශාල ආලෝක කදම්බයක් රුවන්වැලි සෑය වෙත ඇදී යනු දැක තිබේ. පූජා නගරය හරහා රුවන්වැලිසෑය වෙත ගොස් අතුරුදන් වන මේ ආලෝක ධාරාවන් මොනවාද?

5

බෞද්ධ සාහිත්‍යයට අනුව දෙවියන් සාමාන්‍ය ඇසට යොමුවන්නේ ආලෝක ධාරා පරිද්දෙනි. ආලෝක ධාරාවක් ලෙස එන දෙවියන් කවුද යන්න නිශ්චිතව දැකිය හැක්කේ විශේෂ වූ ඥාන බල ලැබූ කෙනෙකුටය.

ඊට උදාහරණයක් ද මෙහි තබමි. බුදුරජාණන් වහන්සේගේ දකුණත් සවු සැරියුත් තෙරණුවෝ පිරිනිවීමට ආසන්න වූහ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන පිරිනිවීම සඳහා තම උපන් ගමෙහි වූ තිඹිරි ගෙය වෙත වැඩම කළහ. සැරියුත් මහ රහතන් වහන්සේ මහාරහත් භාවයට පත්ව සිටියත් උන්වහනසේගේ මව වූ සාරිපුත්ත බැමිණිය මිථ්‍යා දෘෂ්ටික කාන්තාවක් වූවාය. ඇය සාරිපුත්ත හිමියන් දෙස ශෝකයෙන් බලා උන්නාය. මැදියම් රැය පුරාම මහත් වූ ආලෝකයන් සැරියුත් හිමියන් සමීපයට එන්නේය. මොහොතකින් අතුරුදන් වී යන්නේය. දීප්තිමත් වූ මේ නොයෙක් වර්ණ ඇති ආලෝක ධාරා මොනවාද? ඇය තම පුත්‍රයා වෙතට ළං වී විමසා සිටියාය.
 59
-පුතේ... දැන් ඒ ආපු ආලෝකය කුමක් ද?”

-මෑණියනි... ඒ පැමිණියේ සතරවරම් දෙවිවරු...”

-පුතාට නමස්කාර කරන්න ආවේ සතරවරම් දෙවිවරු ද? මගේ පුතා සතරවරම් දෙවියන්ටත් වඩා ඉහළයි ද?” ඇය බොහෝ කල්පනා කළාය.

-මෑණියනි, මේ දෙවිවරු හරියට සාමනේර හාමුදුරු නමකගෙ පාත්‍රය අරන් යන ඇබිත්තයන් වගේ. තවත් මොහොතකින් වඩාත් දීප්තිමත් ආලෝකයක් සැරියුත් මහ රහතන් වහන්සේ වෙතැ ළඟා විය.

-පුතේ... පෙරටත් වඩා විශාල ආලෝකයක්... ඒ කවුද?”

-මෑණියනි... ඒ දෙදෙවුලොවට අධිපති ශක්‍ර දෙවියන්”

-මගේ පුතා ශක්‍ර දෙවියන්ටත් වඩා ශ්‍රේෂ්ඨයි. උතුම්” සාරි බැමිණිය එදාම මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී සම්‍යක් දාෂ්ටියට පැමිණි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

අප මේ කතාව උදාහරණයක් කොට ගත්තේ දෙවියන් අපේ සාමාන්‍ය ඇසට යොමුවන්නේ -අලෝක ධාරාවක් ආකාරයෙන් බව පෙන්වීමටය. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතු වැඩ හිඳින රුවන්වැලි සෑය සතරවරම් දෙවිවරු සතර දෙසින් සිට ආරක්ෂා කරන ශක්‍ර දෙවියන් නිතර වන්දනාමාන කරන තැනක් බවට කිසිදු සැකයක් නැත.

නිතිපතා රාත්‍රී යාමයේ ස්වර්ණමාලි සෑයට ඇදෙන නිල්-රතු-කහ-තැඹිලි ආදී ආලෝක කදම්බ මේ දේව ආලෝකයක් බව අපට හැඟේ. මේ ආලෝක ඇසින් දුටු අනුරාධපුරයේ කාන්තාවක් අපට කීවේ මෙවැනි කතාවකි.

“-පාන්දර 3.00ට විතර ඇති. මම කඬේ ඉඳලා එළියට බැස්සා. සාමාන්‍යයෙන් උස ගහක මට්ටමින් රතුම රතු පාට එළියක් රුවන්වැලි සෑය දිහාවට එනවා. ඒ එළිය ආවේ අභයගිරිය පැත්තෙ ඉඳලා. තරමක් අඩු වේගයකින් ආවේ. අපේ කඬේ තිබුණෙ රුවන්වැලිසෑය ළඟමයි. ටිකින් ටික ළං වෙන මේ රතුපාට එළියට මම බය වුණා. මම ඉක්මනට කඬේ ඇතුළට ගිහින් ජනේලය ඇරලා ඒ දිහා බලා හිටියා. ඒ ආලෝකය ගියේ රුවන්වැලි සෑයට. ඊට පසු නොපෙනී ගියා. මුලදි මම මේ රතු එළියට බය වුණත් පසුව මට තේරුණා” මේ තමයි දේවතා එළි කියන්නේ කියලා. විශේෂයෙන් රුවන්වැලි සෑයේ මහා පින්කම් පවතින දවසට මෙවැනි ආලෝක ධාරා වැඩි බවක් ඇතැම් දෙනා පවසති. මහ සෑයේ පින්කම්වලට දෙවි දේවතාවුන් ද ආශිර්වාද කරන බව බොහෝ අය විශ්වාස කරති.

මාමිණියාවේ ඉලංගසිංහ මහතා අපට මේ සියලු කතා අතරේ වෙනස් පැත්තක් මතු කළේය.

-මහත්තයො... ඔය විවිධ ආගමික උත්සවවලට සහභාගි වුණ සමහරු පිටරටදි තෙරපිලා මිය ගියා වගේ කතා අපට ආරංචි වෙනවනෙ. අනුරාධපුරේ ඇතැම් පින්කම් කාලවලට ලක්ෂ ගාණක් සෙනඟ මහා සෑයේ ඇතුළු වෙන තැන කූඹි ගුලක් වගේ පේන්නේ. මළුවත් එහෙමයි. ලක්ෂ ගාණක් මහ සෑයේ සලපතල මළුවට පිරුණත් කවදාවත් තෙරපීමක් වෙලා කෙනෙක් තුවාල වෙලාවත් නෑ. අහලා තියෙනවද? නිදහසේ වැඳ පුදාගෙන එන්න පුළුවන්. මේවාත් ආශ්චර්යමත් දේවල්. දෙවියන් වැඩ හිඳින තැන්වල අවාසනාවන්ත දේවල් සිදුවෙන්නේ නෑ. මහ සෑ භුමිය වගේම ශ්‍රී මහා බෝධිය අසලත් එහෙමයි. මේ තැන් වැඳ පුදා ගන්න අයට මහ සෑ පිහිට මහ බෝ පිහිට පමණක් නෙවෙයි. සම්‍යක් දෘෂ්ටික දේව පිහිටත් නොමඳව ලැබෙනවා. හැබැයි පිළිවෙතින් සැරසිලා හරියට ඒ වැඩ කරන්න ඕනෙ.

5454


පිච්චමල් පූජාව දවසට රුවන්වැලි සෑයෙහි ෂඞ් වර්ණ බුද්ධ රශ්මි විහිදීම බොහෝ දෙනා දුටු ආශ්චර්යමත් දර්ශනයකි. ඒ දුටු සැදැහැතියන් කියන හැටියට සැන්දෑ කාලයේ සේම රාත්‍රියේත් මහ සෑයේ කොත ප්‍රදේශයේ ෂඞ් වර්ණ බුද්ධ රශ්මි ආලෝක කදම්බ වළල්ලක් ආකාරයට නිතර දක්නට ලැබේ. ඒ බුද්ධ ආශ්චර්යක් ද? යන්න පිළිබඳව අපට නැවත සිතන්නට සිදුවේ. පිච්චමල් පූජාව ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන පූජාවක් මෙනි. එය සැදැහැතියන් ලක්ෂ ගාණක් ඒකරාශී වී පිරිසිදු සිතින්ම කරන කටයුත්තකි. එවැනි මහා පින්කමක දී බුද්ධ රශ්මි මාලාවක් විහිදෙනු දැකීම දේව ආශ්චර්යකට වඩා බුද්ධ ප්‍රාතිහාර්යයක් ද යන්න අප ගැඹුරින් අවබෝධ කරගත යුතුය. එයට උදාහරණයක් ලෙස කතාවක් ලියමි.

මේ ගෞතම සම්බුද්ධ ශාසනය පන්දහසක් කල් ගෙවී යාමෙන් නිමා වෙන බවත් එදාට මහ සෑ බිමේ බුද්ධ රූපයක් මැවී ප්‍රාතිහාර්ය පාන බවත් අපි පසුගිය සතියේ සටහන් කළෙමු. ඒ හැර මහා සෑ බිමේ බුද්ධ ප්‍රාතිහාර්ය නොවේද? ද්‍රෝණයක් සර්වඥ ධාතු ඇති තැනක බුද්ධ ප්‍රාතිහාර්ය විය නොහැකිද? අතීතයේ මහ සෑ බිමේ එවැනි බුද්ධ ප්‍රාතිහාර්යයක් සිදුවූ අවස්ථාව අපේ ඉතිහාස කතාවල සඳහන් වී තිබේ.

ස්වර්ණමාලී චෛත්‍යයෙහි තැන්පත් කිරීමට ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා ලැබුණේ අනන්ත නම් නා රජුන්ගේ නාග විමානයෙනි. මේ සර්වඥ ධාතු නා ලොව සිට වැඩම කරවූයේ සෝනුත්තර නම් දොළොස් වියැති සාමණේර හාමුදුරුවෝය.

සෝනුත්තර හාමුදුරුවෝ, ද්‍රෝණයක් සර්වඥ ධාතු දුටුගැමුණු රජතුමා අතට පත් කළ අවස්ථාවේ එම ධාතුන් අහසට පැන නැගී බුද්ධ රූපය මැවී ෂඞ් වර්ණ බුද්ධ රශ්මි ජාලා විහිදුවමින් පෙළහර පෑ බව කියැවේ. එදා දෙවියන්ද, මිනිසුන් ද අපමණ සන්තෝෂයෙන් සාදුකාර දුන්නාහ. ඒ සාදු හඬ මධ්‍යයේ ද්‍රෝණයක් ධාතු මහ සෑයේ තැන්පත් කළ බවත් කියැවේ. එතැන් පටන් මහ සෑ බිමේ බුද්ධ රශ්මි ධාරාවක් විහිදෙනවා යන්න බුද්ධ ප්‍රාතිහාර්ය අවස්ථාවක් හැටියට ගැනීම වරදක් නැත. ඇතැම් විට ඒ බුද්ධ රශ්මි මධ්‍යයේ බුද්ධ රූපය වුව මැවී තිබෙන්නට පිළිවන.

පිච්චමල් පූජාව වැනි අසිරිමත් පින්කම් දිනවල මහ බෝධිය හා මහ සෑය අබියස පෙනෙන බුද්ධ රශ්මි ජාලාවන් සමහරු හිරු එළියේ කිරණහි ප්‍රතිඵලයක් යැයි කියති. එය එසේ නම් ඒ කිරණ ජාලා ඉර එළිය පවතින ඕනෑම මොහොතක ඕනෑම තැනක දැකිය හැකි විය යුතුය. නමුත් එකම තැනක එකම ආකාරයට විවිධ තැන්වල සිටින අයට එකම වේලාවක මහ බෝ අසලදීත්, මහ සෑ අසලදීත් පෙනෙන ෂඞ් වර්ණ රශ්මි ජාලය හිරු එළියේ ප්‍රතිඵලයක් යැයි කීම සාධාරණ නැත. එයට හේතුව අපේ පියවි ඇසට පෙනෙන යම් ප්‍රාතිහාර්යයක් විද්‍යාත්මක පසුබිමකට හෝ සාමාන්‍ය සිදුවීමකට පෙරළා හුවා දැක්වීම නොගැළපෙන බැවිනි.

ඉතිහාසය පුරාම පමණටත් වඩා ආශ්චර්යවත් දේ සිදුවන තැනක යම් ප්‍රාතිහාර්යක් ඇසට පෙනීම සිදුවිය හැක. එය බැහැර නොකළ හැක්කකි.

රුවන්වැලි සෑයේ ධාතු තැන්පත් කිරීම දා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් මුළු ලංකාවම මලින් සරසනු ලැබූ බව කියැවේ. මේ අනුව මහ සෑයේ කෙරෙන පින්කම්වලට දෙවියන් ද යම් යම් දායකත්වයන් දෙන බවට අපට සිතේ. දුටුගැමුණු රජතුමාට ස්වර්ණමාලි චෛත්‍යය ඉදි කිරීමේ උවමනාව ඇති වන විට එතුමාට එය කරන්නට තරම් ධනයක් තිබුණේ නැත. රට බේරා එක්සේසත් කිරීමේ සටනට මිනිස්සු උදව් කළ නිසා බදු බර පටවා රුවන්වැලි මහා සෑය කිරීමට ද රජතුමා නොකැමති විය. චෛත්‍ය කර්මාන්තයට දැහැමිව ගඩොල් උපයන්නේ කෙසේදැයි රජතුමා තුන්යම් රෑ මුළුල්ලේම කල්පනා කළේය. රජතුමාගේ පින්වත් සිතිවිල්ල තේරුම් ගත් ශක්‍ර දෙවියන් මේ ගැන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට දැන්විය.

පසුදා අලුයම රුවන්වැලි සෑය කරන්නට ගඩොල් නුවර ආසන්නයේ තැනක විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් මවා දෙනු ලැබීමත් එසේම ස්ථූපය කෙරෙන අතරතුරදීත් චෛත්‍යයේ සතර දොf0රහි ගඩොල් මැවුණු බව සඳහන් වේ. මේ අතර මහා සෑ කර්මාන්තයට රන්, රිදී, තඹ ආකර ද මතු වූ අයුරු පැරණි පොත පතෙහි විස්තර වේ.

ඉබ්බාගමුව, රිදීගම පිහිටි විසල් ගල් ලෙන තුළින් දැවැන්ත රිදී ගොබයක් මහ සෑ කර්මාන්තය වෙනුවෙන් පහළ විය. අද රිදී විහාරය පිහිටා ඇත්තේ මේ බිමෙහිය. මේ කතා අනුව පැහැදිලි වෙන්නේ යහපත් ක්‍රියාවකට දේව ආශිර්වාදය නොමඳව හිමි වන බවයි. ඒ අනුව මහ සෑ බිම වෙනුවෙන් දිවැස් හෙළා සිටින ශක්‍ර දෙවියන් ප්‍රමුඛ දිව්‍ය සමූහයාට, එබිම වෙන පින්කම් දැනේ... පෙනේ... ඒ අය ද ඒවාට සහභාගි වේ. සහයෝගය දේ.

ස්වර්ණමාලි චෛත්‍යය වෙනුවෙන් පින්කමක් කරන්නට යම් කෙනෙකු සිතෙහි සද් සිතිවිල්ලක් පහළ වුණොත් (තමන්ට ලාභ වාසි ප්‍රයෝජන නැතිව) ඒ සඳහා එක හෙළාම දේව සභාවේ උපකාරය ලැබෙන බව අපට පෙනේ.

රුවන්වැලි සෑය නිර්මාණය දුටුගැමුණු රජතුමා ධනය නැති අවස්ථාවක ආරම්භ කළත් එය උසස් අන්දමින් නිමා වූවා සේ, මහ සෑ රදුන්ට යම් යම් දෙනා කරන පින්කම්වලට දෙවියන් නොසිතන පරිදි උපකාර කරන ආකාරය අරුම නැත.

-මහ සෑයෙ පින්කම” වෙද්දි මල් පිපෙයි ද දන්නෙ නෑ. සල්ලිත් මදි. යන්න සෙනගත් මදි වශයෙන් සිතා පින්කම් පටන් ගත් කිසිවකු පිරිසිදු සිතින් එය කරනවා නම් ඒ කවුරුවත් අමාරුවේ වැටී නැත.

මල් නැති කාලයක් නම් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා හෝ ඉදිරිපත් වී මල් සොයා දෙන්නේය. මල් ඇති තැන් අහම්බෙන් හමුවන අය ඉදිරිපත් වී කියා දෙන්නේය. මේ වැනි කතා රුවන්වැලි සෑයේ පින්කම් කරන බොහෝ අයට සිදු වූ අමුතු පුදුම හිතෙන කතාය.

“කවුද මන්දා වයසක කෙනෙක් ඇවිත් මල් තියෙන තැනක් ගැන කිව්වා. ගිහින් බලද්දි විලේ මල් පිරිලා. ටිකක් කැලෑබද තැනක්. ඕනෑවටත් වඩා මල් තිබුණා. පින්කම් එකකට නොවෙයි, පින්කම් දහයකට මල් එතැන. මල් එච්චර තිබුණෙ කොහොමද කියලා හිතාගන්න බෑ. මලුත් හරිම සුවඳයි.”

මේ අනුරාධපුරයේ සුවිශේෂී පින්කමක් කළ අයකු අපට කී කතාවකි. අනුරාධපුරය පුරා පින්කම සඳහා මල් සෙව්වත් නොලැබුණු ඔහුට වයසක වේශයක් ගෙන පැමිණ මල් ඇති තැන කිවූ පුද්ගලයා කවුද? ඔහු මනුෂ්‍යයෙක් ද? නැත්නම් දේව දූතයෙක් ද?

රුවන්වැලි සෑයේ පින්කම්වලට පෙර රාජ රාජ මහා මාත්‍යාදීන්ට පවා දෙවියෝ උදව් කළේ නම් අප වැනි පෘථග්ජනයන්ට දෙවියෝ උදව් නොකරාවි ද?
මහ සෑ වන්දනා පින්කම්වලට මල් සොයා දෙන මෙවැනි අසාමාන්‍ය අය දේව දූතයන් හැටියට අපට විශ්වාස කළ නොහැකි ද?

විශේෂයෙන් මහ සෑයේ පින්කම්වලට දෙවියන් විසින් පහසුකම් සලසන බව ද ඇතැම් දෙනා කියති.

m

Tuesday, October 11, 2016

ශ්‍රී සර්වඥ ධාතු වන්දනා පදනම


පූජ්‍ය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ක්‍රියාත්මක වන ශ්‍රී සර්වඥධාතු වන්දනා පදනම මගින් සිදු කරනු ලබන ප්‍රධානතම පිංකම වන්නේ වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී සර්වඥධාතු වන්දනාවයි.

රාත්‍රිය පහන්වන තුරු පවත්වනු ලබන මේ මහා පිංකමට පූජාවන් රැසක් ඇතුලත්වේ.

* ගුවනින් පුෂ්පෝහාර දැක්වීම
* මළුව සුවද පැනින් දෝවනය කිරීම
* කණ්චුක පූජාව
* දාස්පෙතියා මල් ලක්ෂයක් පූජා කිරීම
* නෙළුම් මල් පූජා කිරීම
* විදුලි බල්බ 150000 කින් සෑ රදුන් ආලෝකවත් කිරීම
* හේවිසි ශබ්ද පූජාව
* අටපිරිකර 180 ක් පමණ පූජා කිරීම
* ධජග්ග පූජාව
* නැවුම් එලකිරි විලද මී පැනි පූජාව
* අෂ්ඨ පාන පූජාව
* සුවද මංජුසා පූජාව
* සුවද දුම් පූජාව
* සුවද තෙල් පහන් පූජාව
* පුන් කලස් 100 මල් පූජාව
* සත් බුදු වන්දනාව
* අසූ මහා ශ්‍රාවක රහතුන් වන්දනාව
* පසේ බුදු වන්දනාව
*බුදු රජුන්ගේ මුව දෝවනය පිංකම
* කිරි ආහාර පූජාව

මහත් ඵල මහානිසංස ලැබෙන මෙම පූජාව සෑම වර්ෂයකම ජූලි හෝ අගෝස්තු මාසයේදී පැවැත්වේ.

දකුණු අකුධාතුව තැන්පත්කර ඇති ථූපාරාම සෑරදුන් අභියසින් 2014 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම පිංකම 2015 ජූලි 25 දින සෝමාවතී සෑ රදුන් අභියසදී සහ 2016 අගෝස්තු මස 27 දින මහියංගන සෑරදුන් අභියසදී පැවැත්විනි.